මගේ ගංවතුර අත්දැකීම
අද දින මා මුහුණ දුන් ගං වතුර අත්දැකීම මෙසේ ලියා තබන්නට මට හිතුනා..මම මේක කතා කරන බසෙන්ම ලියන්නම්.ඔන්න මම ඊයේ ඒ කියන්නේ 2017.05.25 වන දින ගොඩකවෙල මගේ පුංචිලාගේ ගෙදරට ආවා.. ඒ අද දිනයේ මට කොළඹ තිබ්බ විබාගයක් ලියන්න යන්න. ඉතින් ඔන්න උදේ ඇහැරුනා. ඒ වෙලවෙත් වහිනවා හොදටම. කුඩයක් අරන් ගිහින් මූණ අත පය සෝදගෙන ඇදුම් ඇදගත්තා. බාප්පත් කොළඹ වැඩකලේ. අද බාප්පලාගෙ ඔෆිස් එකෙත් මොකක්ද පාර්ටි එකක් නිසා බාප්පත් වැස්ස බලන් නැතුව යන්න ලෑස්ති වුනා. ලෑස්ති වෙලා දෙන්නත් එක්ක එක කුඩයක් යටින් පාරට ගියා. ගිහින් කඩයක වහලයක් යටට වෙලා හිටියා. දෙන්නම ටිකක් තෙමිලා හිටියේ. විනාඩි 10ක් විතර යනකොට ඔන්න බස් එකක් ආව. ඒකෙ නැගලා දෙන්න රත්නපුරේට ආව. දෙන්නම නුගේගොඩ යන්න ඕන නිසා රත්නපුරෙන් බස් එකෙන් බැහැලා තෙමිගෙන ගිහින් අලුත් පාරේ යන බස් එකකට නැග්ගා. ඉතින් ඔන්න කොන්දොස්තර මහත්තයා ටිකට් එහෙමත් කැඩුවා. ටික දුරක් යනකොට මෙන්න ආපහු සල්ලි බෙදෙනවා. ඇහැලියගොඩින් එහාට යන්න බැරිලු වතුර ඇවිල්ලා කියලා බස් එක මගින් හැරෙව්වා. මායි බාප්පයි බස් එකෙන් බැස්සා. ඊට පස්සෙ ඔන්න දෙන්නම කඩයක් අස්සට ගියා. අස්සට කිව්වට එලියෙ වහලෙ යටට. දෙන්නටම කොළඹ යන එක අත්‍යවශ වෙලා තිබ්බ නිසා කොහොම හරි යන්න කියලා බප්පා කතා කරා එයාගෙ යාලුවෙක්ට. කොහොම හරි ඒ එක්කෙනා කාර් එකේ යනවා කිව්වා. බාප්පයි මායි එයා එනකන් රත්නපුරේ පැත්තට පයින් යන්න පටන් ගත්තා. වැස්ස ටිකක් අඩු වෙලා තිබ්බ නිසා එක කුඩේ උනාට දෙන්නා වැඩිය තෙමුනේ නෑ. හැබැයි වැඩි දුරක් නම් යන්න උනේ නෑ ආපහු වැස්ස සැර උනා .එක කුඩේ නිසා තෙමෙනවා වැඩියි.දෙන්නම ආපහු පැන්නා කඩයක් අස්සට. දෙන්නම ස්වභාවධර්මයේ අඩ ගැසීමටත් සවන් දුන්නා.
ටික වෙලාවකින් බාප්පගේ යාලුව කාර් එකේ ආවා. අනිත් පාරවල් සේරම වගේ වතුරෙන් යට වෙලා තිබුන නිසා අපේ එකම විකල්ප මාර්ගය උනේ පානදුර පාර. හැබැයි ඒකත් මැදින් යට වෙලාද කියල විශ්වාසයක් නැතුව තමයි අපි ගියේ. පානදුර පාරට යන්න රත්නපුරේට ආවා අපි. පානදුර පාරෙ මැදට තියා ලගටවත් යන්න උනේ නෑ මොකද පාර පටන් ගන්න තැනම වතුරෙන් යට වෙලා. විකල්ප සියල්ල අවසන් උනා. විබාගයට ඕන දෙයක් වෙද්දෙන් කියලා ආපහු පුංචිලාගේ ගෙදරට එන්න තීරණය කරා. බාප්පලා මාව රත්නපුර බස් නැවතුම් පලට ගෙනත් දැම්මා. බඩගිනියි නිසා එතනම තිබ්බ කඩේකින් තේ එකක් බිව්වා.ඔන්න කතාවේ හොදම හරිය පටන් ගන්නෙ දැනුයි.
විනාඩි තිහකට විතර පස්සෙ ඔන්න ආවා බස් දෙකක්ම. දෙකම සූරිය වැව - කොළඹ. බස් දෙකම කොළඹ යන්න ආපු ඒවා. යන්න බැරි නිසා ආපහු හැරිලා යනවා. මාත් ඉතින් සතුටින් නැග්ගා ඇතියන්තම් ගෙදරට ගිහින් මේ තෙත ඇදුම් මාරු කරගන්න පුලුවන්නේ කියලා. වැඩි දුරක් යන්න උනේ නැහැ. පැල්මඩුල්ලට යන්න විදිහක් නෑ පතුල්පාන කියන තැන පාරට කන්දක් කඩන් වැටිලා. වාහන සේරම පාර අයිනේ නවත්තලා. අපේ බස් එකත් නැවැත්තුවා. අපිට වම් පැත්තේ වැවක් වගේ. හැබැයි වැවක් නෙවෙයි ඒ තරමට වතුර පිරිලා. බස් එකේ ඩ්‍රයිවර් මහත්තයනම් කිව්වෙ තව පැය ගානකට යන්න වෙන්නෙ නෑ කියලා. මන් ටික වෙලාවක් බස් එකේ එහෙම්මම වාඩි වෙලා හිටියා. වම් පැත්තෙන් වතුරත් පිරෙනවා. මොකද වැස්ස නවතින පාටක් නෑ. වාඩි වෙලා පැය ගානක් ඉන්න එක මට එච්චර ඇල්ලුවේ නෑ. මම බැස්ස බස් එකෙන්. මගේ ගාව පොඩි කුඩේ තිබ්බා. ඒකත් දිග හැරගෙන ඔන්න ගියා අපේ බස් එක නවත්තලා තිබ්බ තැනින් ඉස්සරහා තිබුන හෝටලේකට. ඇතුලට ගියේ නෑ. එලියේ තෙමෙන්නේ නැති හරියකින් ටිකක් වෙලා හිටගෙන හිටියා. මිනිස්සු හෝ ගාලා සිගරට් බොනවා.ඒ ජරා ගද තමයි ඉවසන්න බැරි.
මිනිස්සු කතා උන විදිහට සමහර අය පස් වැටුන තැනින් පයින් යනවා. වාහන වලට යන්න බැරි උනාට පයින් යන්න පුලුවන්ලු. හැබැයි දනහිස ගාවට විතර එනකන් එරෙනවලු. මටත් යන්න හිතුනා. ඒත් ආපහු කන්ද නාය ගියොත් දෙයියන්ගේ පිහිටයි කියල හිතුන නිසා ඒ අදහස අත් හැර ගත්තා. ඒත් එක්කම මට ඇහුනා එතන කඩේ එක්කෙනා කියනවා කන්ද උඩින් නාය ගිය තැනට එහා පැත්තට යන්න පුලුවන් පාරක් තියෙනවා කියලා. දෙපාරක් හිතුවෙ නෑ එතන හිටපු මල්ලි කෙනෙක්ගෙන් ඇහුවා කොහෙන්ද යන්න තියෙන්නෙ මල්ලි කියලා. ඒ මල්ලි පාරක් පෙන්නුවා කන්ද උඩට යන්න තියෙන.කානුවක් වගේ පාරක්. උඩට උඩට ගල් තියලා හදලා පඩි පෙළක් වගේ. ඒක දිගේ වතුරත් එනව පහලට. ආපහු අමුතුවෙන් තෙමෙන්නත් දෙයක් නැති හින්දා ගියා.මට ඉස්සරහින් කපල් එකකුයි තව තරුණ කොල්ලො දෙන්නෙකුයිත් යනවා. අපි පස් දෙනා ඔන්න කන්දෙ ටිකක් උඩට අවිත් වම් පැත්තට වෙන්න තිබ්බ පාරක ගියා. උඩ පැත්තේ තේ. පහල හෙල් මලු ක්‍රමයට හදපු පාත්ති. මුකුත් වැවිලා තිබ්බෙ නෑ. පස් නම් බුරුල් අලුතෙන් හදල නිසාද කොහෙදො. වැඩි දුරක් යන්න හම්බුනේ නෑ. පාර ඉවරයි. එතනින් පහල බස් පේලියට නවත්තලා තියෙනවා පේනවා. අපි සේරම ආපහු හැරිලා ආව අර පඩිපෙළ මුදුන තියෙන තැනට. ඒ කියන්නේ වම් පැත්තට හැරෙන්න කලින් හිටිය තැනට. ඊට පස්සෙ බැලුවා දැන් මොකද කරන්නේ කියලා.ඒත් පාරක් තියෙනවා කියලත් කිව්ව නිසා ටිකක් බැලුවා. බලනකොට ටිකක් කැලේ වැවිලා තියෙන පොඩි පාරක් තියෙනව දකුණු පැත්තෙන්. ඕන එකක් කියලා ඒ පාරෙ ගියා අපි සේරම. ජීවිතේට දැකලවත් තිබ්බෙ නැති උනාට අපි අතර අමුතු සහයෝගයක් තිබ්බා. කොහොම හරි ටික දුරක් යනකොට ගමේ ටිකක් වයසක සීයලා දෙන්නෙක් හම්බුනා. එයාල අපිට කිව්වා ඔහොම්මම ටිකක් ඉස්සරහට ගිහින් උඩට යන්න.කෙලින්නම් යන්න එපා.තව පස් තට්ටුවක් බුරුල් වෙලා තියෙනේ.ආපහු නාය යන්න පුලුවන් කියලා. වැඩේ පොඩ්ඩක් අවුල් වගේ දැනුනා මට. මොකද දන්නෙ නැතුව පස් තට්ටුව උඩට ගියොත් එහෙම කෙලින්ම පහලට දවස් ගානක් යනකන් බොඩි එකවත් හොයාගන්න වෙන්නෙ නෑ. මම එක සීයා කෙනෙක්ට කිව්ව අනේ සීය අපිට පොඩ්ඩක් පාර පෙන්නන්න පුලුවන්ද කියලා. කියන්න සතුටුයි හරි යමු කියලා ඒ සීය ඉස්සර උනා. ගෞරවයෙන් මතක් කරනවා මම ඒ සීයව මේ වෙලාවෙ. ඉතින් ටික දුරක් ඉස්සරහට යනකොට අපි දැක්කා නාය ගියපු තැන.ගියපු පස් තට්ටුව හරියටම අපේ කෙලින්.තවත් ඉස්සරහට යන්න බෑ. ඊලගට අපි කෙලින්ම උඩට නැග්ගා කන්දේ. එතෙක් අතුරු පාරක් වත් තිබුනට කන්ද උඩටනම් යන්න තිබ්බෙ තනිකරම කැලේ. අපි සේරම එකිනෙකාට උදව් කරගනිමින් කොහොම හරි කන්ද උඩින් අනිත් පැත්තට ආව. කැලේ මැදින් ඇවිත් ආපහු පොඩි අතුරු පාරකින් අවිත් කම්බි වැටක් පැනලා ඔන්න තාර දාපු අතුරු පාරකට ආවා. ඒකෙන් ටික දුරක් පහලට ආවම රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන පාර. අම්මෝ හිතට මාර සහනයක් දැනුනා. අර සීයට ස්තුති කරලා පාර දිගේ පැල්මඩුල්ල පැත්තට ඇවිදගෙන එන්න පටන් ගත්තා මම. අපේ කලින් කිව්ව පිරිස නම් විසිරුනා.
ඉතින් හෙමීට හෙමීට ඇවිදගෙන යන්න පටන් ගත්තා. මතක් කරන්න ඕන මේ දිගටම වැස්ස කියන එක. කරේ තිබ්බ බෑග් එක ඉස්සරහින් එල්ලගෙන කුඩෙත් ඉහලගෙන ඇවිදගෙන ගියා. කුඩෙන්නම් ලොකු උදව්වක් උනේ නෑ මොකද ඒ වෙනකොටත් නිකන් වැවකට පැනලා නාලා වගේ හිටියේ. ඉතින් ඔහොම එනකොට ඇහුවා කෙනෙක්ගෙන් කොහොමද ඉස්සරහ තත්වේ කියලා. එයා කිව්වා පැල්මඩුල්ලට යාගත්තොත් නිකන්ම ගොඩකවෙලට යාගන්න පුලුවන් කියලා. ඒකත් පොඩි සහනයක් උනා. ඔහොම කිලෝමීටර් 4ක් විතර ඇවිදගෙන ආවා පාරෙ යන වාහන වලට අත ද දා. යන්තම් එක ත්‍රීවීල් එකක් නැවැත්තුවා. එයාලත් පැල්මඩුල්ලටම යන්නෙ නෑ සන්නස් ගම හෝ සන්නස් ගල කියන තැනට විතරයි යන්නේ කිව්වා. මන් හා කමක්නෑ කියලා නැග්ගා.ඔන්න ඉතින් අර කලින් කියපු තැනට ආව. ඉතින් බැස්සා. ත්‍රීවීල් එකටත් ස්තුති කරලා ආපහු පයින් යන්න පටන් ගත්තා. කිලෝමීටරයක් විතර යනකන් ආපහු වාහන වලට අත ද දා ගියා. යන්තම් ස්කූටර් එකක ආපු කෙනෙක් නැවැත්තුවා. මන් ඇහුවා අයියේ කොහෙටද යන්නේ කියලා. එයා කිව්ව පැල්මඩුල්ලට මල්ලි නගින්න තෙමෙනව තමයි කමක්නෑ යමු කියලා. මාත් නැග්ගා. හෙල්මටුත් නෑ. මේ මහ වැස්සේ මොන හෙල්මට්ද කුඩේ පොඩ්ඩක් අකුලලා ඔලුවට දාගෙන ඔන්න ගමන ආරම්ඹ කරා.ඒ අයියා බාර් එකට යනවලු ඇග රත්වෙන්න මොනාද ගේන්න. මට හරියට ඇහුනෙත් නෑ කියපු එක. අර වතුරට වැටුන එකා පිදුරු ගහෙත් එල්ලෙනවනේ ඒ නිසා ජාතක හොය හොය ඉන්න උනේ නෑ. ඉතින් කොහොම හරි ආවා පැල්මඩුල්ලට. ඒ ගමනෙදි පාර දෙපැත්තෙන් සේරම වගේ වතුරෙන් යට වෙලා තිබුනෙ කියලත් මතක් කරන්න ඕනා. අර අයියට ස්තූති කරලා හෙමීට අවිදගෙන ඔන්න පැල්මඩුල්ල බස් නැවතුම්පලට ආවා.
කහවත්ත, ගොඩකවෙල තව නගර දෙකක් පහු කරන්න ඕන. බස් නම් එන පාටක් තිබුනේ නැහැ ඕන දෙයක් වෙන්න කියල නැග්ගා ත්‍රිවිල් එකකට. හිතටත් පොඩි සැනසීමක් අවා එත් කොහෙද වැඩි දුරක් යන්න උනේ නැහැ ආයෙත් කුඹුරු යායක් මදින් තිබුණු පාර යට වෙලා. ත්‍රීවීල් එක කිව්වා එයාට මෙතනින් එහාට යන්න බෑ කියලා.කමක් නෑ කියලා සල්ලිත් දීලා බැස්සා. වතුර ගලලා තිබුණට එච්චර උසට ඇවිත් තිබුණේ නැහැ. ඕන එකක් කියල ඇවිදගෙම ගියා වතුරේ. කිලොමීටර 3ක් විතර ආයෙත් පයින් ඇවිද්දා. ආපහු යට උන තැනක්. එතනින්නම් කීයටවත් ඇවිදගෙන යන්න බෑ කියලා මට තේරුනා. බස් දෙක තුනක්ම පාර අයිනට කරලා නවත්තලා දාල තිබුනා යන්න බැරි නිසා. ඒත් එක බස් එකක් ඕන එකක් කියලා වතුර පාරෙන් යන්න හදනවා. මමත් දුවගෙන ගිහින් නැග්ගා. බස් එක පෙරලෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි.කොකටත් කියල පිටිපස්සෙ දොර ගාවම වාඩි උනා. පෙරලුණොත් එලියට පනිනවා කියලා හිතාගෙන.බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා වැඩ කාරයා. ඩ්‍රයිවර් විශ්වාස කරලා බස් එකට ගොඩ උන මන් ඇතුලු කිහිපදෙනෙක්ට කිසි අවුලක් නැතුව එහා පැත්තට යන්න පුලුවන් උනා.බස් එක ඇඹිලිපිටියට යන එකක් නිසා ඒ බස් එකේම වාඩි වෙලා හිටිය. වතුර ගලපු තැනින් එහා පැත්තේ හිටපු මිනිස්සු වගේකුත් නැග්ගා.කොන්දොස්තර මහත්තයා බොර දියේ මාලු බාන්න හැදුවෙ නෑ. ඔයාලා ගාව කීයක් හරි තියෙනවනම් දෙන්න අපිට තෙල් ගහගන්න කියලා විතරයි කිව්වෙ. හැමෝම වගේ වචනයක්වත් නොකියා සල්ලි දුන්නා. පුංචිලාගෙ ගෙදරට යනකන් ආයෙනම් කොහෙවත් ගලලා තිබුනේ නැහැ. එක පැත්තකින් බලනකොට අවදානම් අවස්ථා ගොඩකට මුහුණ දුන්නා. බයක් නම් දැනුනේ නෑ ශිෂ්‍ය භට ජිවිතේට පින් සිද්ද වෙන්න. ලොකු අත්දැකීමක්. මොනදේ උනත් ලංකාවේ මිනිස්සු කරදරේකදි එකිනෙකාට උදව් කරගන්න විදිහ හරිම පුදුමයි.
ඉතින් මේ කතාව පල කරනකොට අවුරුද්දක් විතර ගිහින්.මොකද මන් අද තමයි දැක්කේ මේ කතාව පබ්ලිශ් වෙලා නෑ කියලා. අවසානයේ මතක් කරනවා මේක සුරන්ගනා කතාවක් නොවන බවත් මට උන සත්‍ය සිදුවීමක් බවත්.

Comments
Post a Comment