පිරමීඩ
බලන් ඉඳලා බැරිම තැන දුකට ලියල ලිපියක් මේක. තුන් වෙනි ලෝකේ රටක් උන ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත මේ වෙනකොට ඔහේ පාවෙන තත්වෙකට පත් වෙලා. බලාපොරොත්තු විරහිත ජීවීන් බවට පත් වෙලා කියලත් කියන්න පුලුවන්. වැරැද්ද කාගෙද කියන එකට කාටවත් ඇඟිල්ලක් දික් නොකර ඉමු. එහෙම කරන්න ගියොත් කියන්න වෙන්නේ වෙනම කතාවක්.
වැඩිහිටි පරම්පරාවටත් වඩා තරුණ පරම්පරාවේ හීන, බලාපොරොත්තු, අරමුණු කඩාගෙන වැටිලා කියලයි මටනම් හිතෙන්නෙ. සාධාරණයි ඉතින් මේ ආර්තික තත්වයත් එක්ක බලනකොට. හැබැයි මේ සේරම කරදර අස්සේ වෙන්න පුලුවන් තවත් නරකම දෙයක් උන පිරමීඩ, ponzi ස්කීම්, නීතිවිරෝදී මූල්‍යමය ව්‍යාපාර මේ තරුණ පරම්පරාව ගිල ගනිමින් ඉන්නවා කියලා මට හිතෙනවා. මේවට වැඩිම ප්‍රමාණයක් අහු වෙලා ඉන්නේ වැඩිහිටි පරම්පරාවේ අය. ඒ වුනාට දුක හිතෙනම කාරණය තමයි දන්න අදුරන, දෙයක් ඉගෙන ගත්ත, තරුණයෝ පිරිසකුත් මේවා පස්සේ වැටිලා ඉන්න එක.
(ගොඩක්ම ජනප්‍රිය ponzi ස්කීම් උනාට භාවිතයේ පහසුවට මෙතනින් පස්සේ මන් හැම තැනම පිරමීඩ කියන වචනය භාවිතා කරන්නම්)
"ගේමක් ගහමු, ගොඩ යමු, හීන දිනන්න ඕන" වගේ මෝටිවේශනල් කතා ගොඩක් ඉස්සරහට දාගෙන මේ පිරමීඩපස්සේ දුවන තරුණයෝ දැක්කම එක වෙලාවකට එන්නෙ සෑහෙන කල කිරීමක්. මට තේරෙන්නෙ නැතිදේ තමයි, මෙයාලා මේවා පස්සෙ යන්නෙ දැනගෙනද? ඇඳගෙනද? කියන එක. හැබැයි "මුලින් සෙට් වෙලා ගේමක් ගහන් මාරු වෙන්න ඕන" වගේ කතා ඇහෙද්දි නම් තේරෙන්නෙ දැනගෙනම තමයි මේවා පස්සේ යන්නේ කියලා.
හැමෝම හොය හොය ඉන්නෙ අලුත්ම පිරමීඩෙ මොකක්ද කියලා. මොකද උඩින් සෙට් වෙලා Profit ගන්න. තමන්ට ලැබෙන්නේ පිරමීඩෙ යටින් ඉන්න, රැවටිලා සල්ලි දාන මනුස්සයෙක්ගේ සල්ලි කියල දැන දැන මේවා කරන අය දකිනකොට හිතෙන්නෙ, දේශපාලුවෝ හොරා කෑවා, රට විනාස කරා කියන්න අපිට කිසිම අයිතියක් නැහැ කියන එකයි. මොකද නොදැනුවත් කමට සල්ලි දාල අහු වෙන එකයි, දැන දැන මේ කරන වැඩෙයි බලනකොට හොරාකන එකෙයි, පිරමීඩ වලට දැන දැන සම්බන්ධ වෙන එකෙයි කිසිම වෙනසක් නැහැ.
මේකේ මන් දකින නරකම දේ ඔය කාරනා කිසිම දෙයක් නෙවෙයි. මහන්සි වෙන්න පුලුවන්, අලුතෙන් හිතන්න පුලුවන්, ව්‍යවසායකයන් වෙන්න පුලුවන් කැපෑසිටියක් තියෙන, ජීවිත ගොඩ දාගන්න පුලුවන් කොල්ලෝ, කෙල්ලො ඒ සේරම නවත්තලා අලුතෙන්ම එන පිරමීඩ හොයන එකයි. හැම තිස්සේම කල්පනා කරන්නේ යටින් රෙෆෙරල් කෙනෙක් දාගෙන කොහොමද කමිශන් වැඩි කරගන්නේ කියලා, කොහොමද අලුත් පිරමීඩෙක උඩින්ම සෙට් වෙන්නේ කියලා. රටක අනාගතේට ඉන්නම ඕන කොල්ලො කෙල්ලො එහෙම වෙනවා දකින එක ලොකු දුකක්. ලංකාවේ බැරිනම් වෙන රටකට ගිහින් හරි ජීවත් වෙන්න තිබුන අරමුණු සේරම අමතක කරලා දාල මේවා පස්සේ වැටිලා ඉන්න එක දකිනකොටත් එන්නෙ අප්පිරියාවක්.
ඇත්තට සාර්තක මිනිහෙක්, ධනවත් පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියලා බලනකොට ඒ පාර ටිකක් දුරයි, අමාරුයි, බාදක වැඩියි. හැබැයි එක පිරමීඩෙකට සෙට් වෙලා ඒක ගොඩ දාගත්තොත් ජීවිතේම ගොඩ කියලා හිතන්න පුරුදු වෙලා ඉන්න මේ කොල්ලො කෙල්ලොන්ගෙ හිත එක වෙනස් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් දැන්ම ඒක කරන්න. මොකද මටනම් හිතාගන්න බැහැ මේ රටට වෙලා තියෙන දේවල් එක්ක බලනකොට, මේ වගේ පරම්පරාවකුත් බිහිවෙන එක මේ රට කොයිවගේ තැනකට ගිහින් නතර කරයිද කියලා.
අවසාන වශයෙන් මේවා පස්සෙ යන අය අදහන තව කතාවක් තියෙනවා ඒ තමයි "සල්ලි තියෙනකොට, කඩේකට ගිහින් සල්ලි දීලා බඩු ගන්නකොට කවුරුත් අහන්නේ නෑ කොහොමද සල්ලි හම්බකරේ කියලා" කියන එක. මේකට මන් උත්තර දෙන්න යන්නෙ නෑ. මේක කියවන කෙනෙක්ට පුලුවන් ඒකට උත්තරයක් දෙන්න.

Comments
Post a Comment